LATEST NEWS
Search

පොත් ප්‍රදර්ශනයට යන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න

516

සැප්තැම්බර් කියන්නෙ සාහිත්‍යා මාසය. මේ සාහිත්‍ය මාසය කියවන අයට හරිම වැදගත් වෙන්න කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනයත් පැවැත්වෙන නිසයි. කියවන අය කොයි තරම් නම් මේ රටේ ජීවත් වෙනවද කියලා තේරෙන්නෙ එහෙම පොත් ප්‍රදර්ශනයකට ගියහමයි. අදින් කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. කොළඹ අය, කොළඹ අවට අය විතරක් නෙවෙයි දුර පැති වල ඉන්න අයත් මේ පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න හිතාගෙන කොළඹට අද ඇදිලා එනවා. ඒත් යන්න කලින් මෙන්න මේ දේවල් ගැන දැනුවත් වුණොත් ඔයාට කරදරයක් නැතිව පොත් අරගෙන ගෙදර එන්න පුළුවන්.

අදින් ආරම්භ වෙන මේ පොත් ප්‍රදර්ශනය මේ මස 29 වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාට තව දවස් 9ක්ම මේ වෙනුවෙන් තියෙන නිසා පටන් ගත්තු දවසෙම දුවන්න ඕනි කියලා හිතන්නෙ නැතුව සුදුසු දවසක් මුලින්ම තීරණය කරගන්න. ඒ වගේම පොත් ප්‍රදර්ශනයට යන්න හොඳම වෙලාව තමයි හවස් වරුව. මොකද උදේට සෙනග ගොඩක් එන නිසා හවස නිදහසේ පොත් තෝරගන්න පුළුවන්. හවස 6ට පොත් රස්තියාදුවේ යන්න හිතනවා නම් නිදහසේ පොත් තෝරගන්න ඔයාට පුළුවන්.

ඒ වගේම තමයි මේ පොත් ප්‍රදර්ශනය අවට තියෙන කෑම බීම ගැන නම් කියන්නම ඕනි. ගොඩක් වෙලාවට මේ පොත් ප්‍රදර්ශනය අවට තියෙන්නෙ නූඩ්ල්ස් වගේ ක්ෂණික ආහාර. ගොඩක් ඒවා විශේෂ රසක් නෑ. තැම්බීමක් පමණක් කරලා හදිසියේ දෙන දෙයක්. ඒ වගේම මේ නූඩ්ල්ස් කප් එකක් අවම වශයෙන් රුපියල් 100ක් විතර වෙනවා. මේවා කෑවා කියලා බඩගිනි නිවෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ඔයාට පුළුවන් පොත් ප්‍රදර්ශනයට යන්න කලින් එළියෙන් හරි ගෙදරින් හරි බඩ පිරෙන කෑමක් එක්ක වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන යන්න.

ඒ වගේම පොත් අරගෙන එන්න යනවා නම් ඒකට සුදුසු බැග් පැක් එකක් අරගෙන යන්න අමතක කරන්න එපා. නැත්නම් පොත් ගන්න ගන්න ස්ටෝල් එකෙන් දෙන බෑග් මලු දහයක් විතර අතේ පුරවගෙන ඔයාට පොත් තෝරන එක කරදර සහ එපා වෙන වැඩක් වෙනවා.

කාඩ් එකෙන් ගෙවලා පොත් ගන්න හිතාගෙන ඉන්න අය ඒ වෙනුවට සල්ලි අරගෙන යන එක හොඳයි. මොකද සමහර ස්ටෝල් වල කාඩ් එකෙන් පේ කරහම දෙන ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නෙ නෑ. ඒ වගේම හදිසියේ පොත් ගන්න නිසා අපේ කාඩ් එකෙන් හරියටම කීයක් කැපෙනවද කියලා අපිට හොයාගන්න අමාරු වෙන්න පුළුවන්.

පොත් ස්ටෝල් වලට යනකොට මුලින්ම බලන්න ඒ අය දෙන ඩිස්කවුන්ට් එක කොච්චරද කියන එක. සමහර ස්ටෝල් වල ලොකු ප්‍රමාණයට ඩිස්කවුන්ට් දෙනවා. ගොඩක් ස්ටෝල් වල දෙන්නෙ සියයට විස්සක ඩිස්කවුන්ට් එකක් විතරයි. ඒත් හොඳට හොයලා බැලුවොත් සියයට පනහක හැටක ඩිස්කවුන්ට් දෙන ස්ටෝල්ස් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ.

පොත් ප්‍රදර්ශනයට යන්න කලින් ගන්න හිතාගෙන ඉන්න පොත් ලැයිස්තුවත් අරගෙන යන එක වටිනවා. නැත්නම් පොත් ප්‍රදර්ශනයට ගියාට පස්සෙ මොන පොත්ද ගන්න ඕනි කියන එක ඔයාට අමතක වෙනවා.

පොත් වලට දෙන බිල්පත හැමවෙලේම ලඟ තියාගන්න. හදිසියේ චෙක් කිරීමක් කරොත් ගැටළුවක් ඇති නොවෙන විදිහට ඉන්න බිල්පත හරි වැදගත්.

ඒ වගේම කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනයට අමතරව වෙනත් පොත් ප්‍රදර්ශන කොළඹ අද සිට ක්‍රියාත්මක වෙනවා. තැප්‍රොබේන් පොත් පලස (විජේරාමය) අහස පොත් ප්‍රදර්ශනය වගේ පොත් ප්‍රදර්ශන වලත් විශ්මිත වට්ටම් එක්ක පොත් ප්‍රදර්ශන පැවැත්වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් වෙන බිග් බෑඩ් වුල්ෆ් ජාත්‍යන්තර පොත් සල්පිලත් පැවැත්වෙනවා. ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 27 දක්වා තමයි මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ. සඳුදා සිට බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වාත්, සිකුරාදා සිට ඉරිදා දක්වා පැය 24 පුරා ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (ලේක් හවුස් අසල) ක්‍රියාත්මක වෙනවා.

ඒ නිසා මේ වගේ වෙනත් පොත් සල්පිල් ගැනත් හොයලා බලන්න. එතකොට අවම මිලකින් වැඩි පොත් ප්‍රමාණයක් ඔයාට ගෙදර අරගෙන යන්න පුළුවන්.

සටහන සිලෝන් මැගසින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *