ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිකා රෝහල් හදනවාට වඩා කිරිපිටි ප‍්‍රචාරයෙන් වැළකී ඉන්නවා නම් රටේ ජනතාවට විශාල සේවයක්

394

ආනයනික කිරිපිටි වල පිළිකා කාරක අඩංගු බව ලෝක සෞඛ්‍ය සංවිධානයද තහවුරු ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීමට වඩා පිළිකා කාරක අඩංගු කිරිපිටි ප‍්‍රචලිත කිරීමෙන් වැළකී සිටිනවානම් එය රටේ ජනතාව වෙත කරන ඉමහත් සේවයක් බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසා ඇත.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කලේ එවැනි සේවාවන් කල ක්‍රීඩකයන් අතීතයේද සිටි බවත් මෙම ආනයනික කිරිපිටි බාවිතය අඩු වන විට ඒවා ආනයනය කල ආයතන වලට යම් කිසි ගැටලුකාරී තත්වයක් ඇති විය හැකි බවත්ය. එසේම ඔහු තවදුරටත් සඳහන් කලේ “අපේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් ආනයනික කිරිපිටි ප‍්රවර්ධන වැඩසටහන්වලට පෙනී සිටිනවා. මේ අය මේවා සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ලබාගෙන කරනවාද කියන්න දන්නේ නැහැ. අපි මේ අයට කියන්න කැමතියි ආනයනික කිරිපිටි නිසා පිළිකා ඇතුළු රෝග 21 ක් හැදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප‍්රකාශ කරලා තියෙනවා. අපි මේ අයට කියනවා පා ගමන් ගිහින් පිළිකා රෝහල් හදනවාට වඩා ජනතාවට පිළිකා හැදෙන කිරිපිටි ප‍්රචාරය කිරීමෙන් වැළකීම රටේ ජනතාවට කරන සේවයක් කියලා. මේ ආකාරයෙන් තවත් ක‍්රීඩකයෙක් නූඞ්ල්ස් ප‍්රචාරය කරන වැඩසටහනකටත් පෙනී සිටිනවා. මේ අය කරන්නේ රටේ ජනතාවට බෝ නොවන රෝගවලට ගොදුරුවන ලෙස කරන ආරාධනාවන් ලෙසයි අපි දකින්නේ.” යනුවෙන්ය

එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කලේ ” මෙවැනි ප‍්රචාරක කටයුතුවලින් වැළකී සිටිය ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්  රටේ සිටිනවා. ඒ අය රට වෙනුවෙන් ලබාගත් කීර්තිය අවභාවිතයට නොගත් අය ලෙසයි අපි දකින්නේ. ලෝකයේ කිරිපිටි ආනයනය කරන රටවල් අතරින් අපේ රට සිවුවැනි ස්ථානයේ සිටින්නේ. කිරිපිටි ආනයනයට වර්ෂයකට රුපියල් බිලියන 57 ක් වැයකරන විට අපේ රටේ අධ්‍යාපනයට වැය කරන්නේ රුපියල් බිලියන 53.54 ක් වැඩි අඩු මුදලක්” යනුවෙන්ය.

ආනයනික කිරිපිටි උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිිරීමේ වැඩසටහන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ලබන සඳුදා (20) සිට දීප ව්‍යාප්තව ක‍්රියාත්මක කිරීමටද නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *