LATEST NEWS
Search

ගව මස් කන අයට සෞඛ්‍ය අංශවලින් අනතුරු අඟවයි; රට පුරා හඳුනා නොගත් රෝගයක් පැතිර යාමේ අවදානමක්; ප්‍රදේශ කිහිපයකින්ම රෝගීන් වාර්තා වෙලා – නුවරඑළියේ ගවමස් අළෙවිය නවතී

624

රට පුරා මුඛ සහ කුර රෝග පැතිර යෑමේ අවදානමක් පවතින බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ගව ඝාතනාගාරවල ගව ඝාතනය පශු වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු නොවීම නිසා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බවත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්. කේ. පී රාජකරුණා මහත්මිය පැවසුවාය.

රිකිල්ලගස්කඩ හා කොත්මලේ ප‍්‍රදේශයේ ගොවිපොළ දෙකකින් මුඛ හා කුර රෝගය වාර්තා වී තිබෙන බවත් මහනගර සභා හැර සෙසු පළාත් පාලන ආයතන බල ප‍්‍රදේශ ගවයෙකු ඝාතනය කිරීමට පෙරත් ඉන් පසුවත් පශු වෛද්‍යවරයෙකු පරීක්ෂා කර එම සත්ත්වයා නිරෝගී සත්ත්වයෙකු බවට නිර්දේශයක් ලබාදිය යුතු බවත් එය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම නිසා ලෙඩ සහිත සතුන් ඝාතනය වීමට ඉඩක් තිබෙන බවත් ඇය කීවාය.

මෙම තත්ත්වය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළ ගව ඝාතනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත‍්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතා පවසයි.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස දිස්ත‍්‍රික්කය තුළට හා දිස්ත‍්‍රික්කයෙන් පිටතට ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් නොකරන ලෙස නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් නුවරඑළිය, කොත්මලේ, අඹගමුව, වලපනේ හා හඟුරන්කෙත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළටත් ඉන් පිටතටත් ගවයින් ප‍්‍රවාහනය නොකළ යුතු බවට දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේදීද තීරණයක් ගෙන තිබේ.

මස් පිණිස සතුන් ඝාතනය කිරීමේදී පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අත්‍යවශ්‍ය වන අතර දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීම මත සතුන් ඝාතනය කිරීම සඳහා එම බලපත‍්‍රය නිකුත් කිරීම තාවකාලිව අත්හිටු වූ බව නුවරඑළිය දිස්ත‍්‍රික් පශු වෛද්‍යවරු පවසති.

මෙම නියෝගයත් සමඟ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සියලූම ගවමස් අලෙවි සල් ඉකුත් විසිඅටවැනි දින සිට වසා දමා තිබේ.

-සමන්තී වීරසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *