LATEST NEWS
Search

අයුතු යෝජනා කියන දේවල් නම් අත්විදලාම නැහැ – කාවින්ද්‍යා දුල්ෂානි

40

හදවිල අරණ සහ අහස් මාලිගා යන ටෙලි නාට්‍යයන් හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය පුංචි තිරයේ අහිංසකාවියයි. ඇය කාවින්ද්‍යා දුල්ෂානි. කාවින්ද්‍යාගේ නවතම තොරතුරු මොනවාදැයි දැන කියා ගැනීමට මෙවර හදගැස්මෙන් අපි ඇයට කතා කළා.

මේ දිනවල වැඩකටයුතු කොයි විදියටද සිදුවන්නේ?

මේ දවස්වල ටෙලිනාට්‍යය දෙකක් විකාශය වෙනවා. ඊට අමතරව මම නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවත් එක්ක තරමක් කාර්යබහුලයි.

හදවිල අරණ ටෙලි නාට්‍යයේ නදී ගැන මතක් කළොත්?


ඔව්. ඇත්තටම ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශනය වෙන ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කරන හදවිල අරණ ටෙලිනාට්‍යයේ නදී කියන්නේ සංගීතය තමන්ගේ ජීවිතය කරගත්, අෑත පිටිසර ගමක අම්මා – තාත්තා සමඟ ජීවත්වෙන අහිංසක දුප්පත් තරුණියක්.

නදීට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු නේද?

ඔව්. ඇත්තටම නදීගේ චරිතයට ගොඩක් අයගේ ආදරය ලැබෙනවා. ඇත්තටම ඉතින් ඒ ගැන හරිම සතුටුයි.
ප්‍රභාත් පතිරණගේ මහතා අධ්‍යක්ෂණය කරන අහස් මාලිගා ටෙලි නාට්‍යයේ අහිංසාගේ චරිතය ගැනත් අපි මතක් කරමු.

ඇත්තටම අහිංසා කියන්නේ හැමදාමත් හොඳ ප්‍රතිචාර ලැබුණු චරිතයක්. වයස් භේදයක් නැතිව හැමෝම අහිංසා කියලා මට කතා කරනවා. නම වගේම අහිංසා කියන්නේ ඇත්තටම අහිංසක තරුණියක්.

ඔබ අහිංසක පෙම්වතියගේම චරිතයට කොටු වීමක් සිදුවෙලා කීවොත් හරි නේද?

ඇත්තට මම තාම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. ඉතින් මම තාම කරලා තියෙන්නේ ටෙලි නාට්‍යය කිහිපයක් පමණයි. ඒකත් එක්ක මට ලැබුණු චරිත සියල්ලක්ම වගේ අහිංසක චරිත තමයි. ඉතින් මම හිතනවා මා තුළින් අහිංසක කමක් පේනවා ඇති කියලා. ඒ නිසා මට අහිංසක තරුණියගේ චරිතයම වැඩිපුර ලැබෙනවා ඇති කියලා මම හිතනවා.

සැබෑ ජීවිතයේදී කාවින්ද්‍යාත් අහිංසා තරම්ම අහිංසක කෙනෙක්ද?

අහිංසාගේ චරිතය ගලාගෙන යන විධිය බැලුවහම මගේ සැබෑ ජීවිතය සමඟ සමාන කරන්න බැහැ. නමුත් ඉතින් අහිංසාගේ චරිත ලක්ෂණ කාවින්ද්‍යාටත් තියෙනවා කියන්න පුළුවන්. මොකද අහිංසා වගේම මමත් ආදරයේදී සෘජු තීරණ ගන්නා හරිම ආදරණීය, අහිංසක කෙනෙක්.

අහිංසක පෙම්වතියගෙන් ඔබ්බට ගොස් විවිධත්වයෙන් යුතු චරිත තෝරා ගැනීමට කාවින්ද්‍යා තුළ කැමැත්තක් නැද්ද?

ඇත්තටම නපුරු, දුෂ්ට චරිතයක් තවම මට ලැබිලා නැහැ. තාමත් මම අහිංසක _ ගැමි තරුණියගේ චරිතය කියන රාමුව ඇතුළේ තමයි ඉන්නේ. අහිංසකත්වයෙන් ඔබ්බට ගිය විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව මා තුළ තිබෙනවා කියලා මම හිතනවා. ඉතින් හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

ඔව්. ඇත්තටම හදවිල අරණ ටෙලි නාට්‍යයෙහි මගේ අම්මාටයි – තාත්තාටයි ඉන්නේ දයා තෙන්නකෝන් මහතා සහ ගේ‍ර්ස් ආරියවිමල් මහත්මිය. ඉතින් ඒ දෙන්නව අනිවාර්යෙන් මතක් කළ යුතුයි. ඊට අමතරව මට වැඩ කරන්න ලැබුණු සියලුම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝමත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.

නිවේදිකාවක ලෙස වැඩ කරන්න ලැබුණු අත්දැකීම ගැනත් මතක් කරමු?

ඇත්තටම නිවේදනය වෙනම අත්දැකීමක්. Hiru Top 10 කියන්නේ නිවේදිකාවක වශයෙන් මගේ ප්‍රථම අත්දැකීම. එය හරිම නිදහසේ ඉදිරිපත් කරන්න පුළුවන් වැඩසටහනක්. ඉතින් මම හිතනවා නිවේදන වැඩකටයුතුත් මම හොඳින් කරනවා කියලා.

රංගනයට සම්බන්ධ වුණු ආකාරය මතක් කළොත්?

2015 අග භාගයේදී තමයි රංගනයට සම්බන්ධ වුණේ. ප්‍රථමයෙන් මම ස්වාධීන රූපවාහිනි අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. අවසන් 12 දෙනා අතරින් එම නාළිකාවේ විකාශනය වන ටෙලි නාට්‍යයකට කෙනෙක්ව තෝරා ගත්තා. ඒ ආකාරයෙන් ඒ අවස්ථාව හිමි වුණේ මට. ඉතින් ශාන්ත සොයිසා මහතා අධ්‍යක්ෂණය කළ “මේඝා ටෙලි නාට්‍යය තමයි මගේ ප්‍රථම ටෙලි නාට්‍යය.

චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා ලැබුණා. මගේ පළමු වැනි චිත්‍රපටයට චාමර ජනරාජ් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “උතුරු සුළඟ.” එය අප්‍රේල් මාසයේදී තිරගත වෙනවා. එහිත් මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. වෙනස්ම අත්දැකීමක් වේවි ඒ චිත්‍රපටයත්. හැමෝටම ආදරයෙන් මතක් කරනවා උතුරු සුළඟ චිත්‍රපටයත් සමඟත් එකතු වෙන්න කියලා.

කාවින්ද්‍යා කියන්නේ සැබෑ ජීවිතයේදීත් පෙම්වතියක්ද?

ඇත්තටම සැබෑ ජීවිතයේදී නම් තවම මම පෙම්වතියක් නෙමෙයි.

රංගන ක්ෂේත්‍රය තුළ වුවත් බොහෝ විට කැපිලි කෙටිලිවලට සහ අයුතු බලපෑම්වලට එහෙම මුහුණ දෙන්න සිදුවෙනවා. ඔබටත් එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවාද?

ඇත්තටම මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 3 1/2ක් 4ක් වෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව නම් මේ වෙනතෙක් අයුතු යෝජනා කියන දේවල් නම් අත්විදලාම නැහැ. මම දන්නේ නැහැ එහෙම දේවල් මේ ක්ෂේත්‍රය තුළ සිදුවෙනවාද කියලා. හැබැයි කැපිලි කෙටිලි කියන දේවල් ඕනෑම ක්ෂේත්‍රයක තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් සම වයසේ අය අතර සිදුවෙන පොඩි පොඩි කැපිලි කෙටිලිවලට නම් මුහුණ දීලා තිබෙනවා.

වර්තමානයේදී සම්මාන රාත්‍රීන්වල ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව ඔබට මොන වගේ අදහසක්ද තිබෙන්නේ?

මම දකින විධියට නම් මෑත කාලයේදී ඇත්තටම සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒවගේම හරිම සාධාරණ විදියට ඒ දේවල් සිදුවෙනවා කියලා තමයි මම නම් හිතන්නේ.

රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට නම් හැදෑරීම කියන දේ අත්‍යවශ්‍යයි කියා ඔබ සිතනවාද?

අත්දැකීම් සහ තමන් ඉගෙන ගන්නා දේවල් කියන දේ රංගන ශිල්පිනියක් විධියට ඉදිරියට යන්න අත්‍යවශ්‍යයි. ඒ අතරින් අත්දැකීම් ඒකරාශි කරගැනීම රංගන ශිල්පිනියකට ඉතාම වැදගත්. ප්‍රවීණයන්ගෙන් සම වයසේ අයගෙන් හෝ යමක් ලබා ගත හැකිනම් ඒ දේවල් ඔවුන් තුළින් ලබා ගන්නවා.

පවුලේ විස්තර ගැන මතක් කළොත්?

මගේ පාසල ‍ෙදාම්පේ දේවි බාලිකා විද්‍යාලය. මගේ පවුලේ අම්මායි, තාත්තායි, මමයි, නංගිලා තුන්දෙනයි තමයි ඉන්නේ.

පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

මුලදි නම් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. නමුත් දැන් නම් හැමදේටම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරමු?

හොඳ, ප්‍රේක්ෂකයන්ට වැදගත් චරිත ටිකක් කරන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. ඇත්තටම මට අවශ්‍ය අනාගතයේදී හොඳම නිළිය කියන කාණ්ඩයට අයත් වෙන්න පුළුවන් විධියේ වැඩ ටිකක් කරන්න තමයි.

ස්තූතිවන්ත වෙන්න පිරිසකුත් ඇති නේද?

ශාන්ත සොයිසා මහතා, ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහතා ඇතුළු මේ දක්වා මම රංගනයෙන් දායක වුණු සියලුම ටෙලි නාට්‍යවල සියලුම අධ්‍යක්ෂවරුන් සහ උදවු උපකාර කළ සැමටත් ගොඩක් ස්තූතියි.

දිනූෂා මනෝරි නිශ්ශංක

Courtesy – Mawbima




Leave a Reply

Your email address will not be published. Required fields are marked *