LATEST NEWS
Search

ලොක් ඩවුන් කරන්න හෝ නීති පැනවීමට දැනට තීරණයක් නෑ – යුද හමුදාපති

40

ඉදිරියේදී යම් ප්‍රදේශයක කොරෝනා රෝගීන් බහුලව හමුවුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට අනිවාර්යෙන් ම පියවරගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් එළඹෙන දීර්ඝ සති අන්තයේදී නගර අතර සංචරණය කිරීම අඩුකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

“කොවිඩ් ආසාදනය වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ මේ එන්නත්කරණය. අපි මේ වෙනකොටත් 927,000කට වැඩි සංඛ්‍යාවකට ලබා දී තිබෙනවා. අපි දිර්ඝ සති අන්තයකට පැමිණෙමින් සිටින්නේ. හැම පුද්ගලයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවාද නැතිනම් නව නීති පනවනවාද කියලා. දැනට අපට එවැනි කිසිදු බලාපොරොත්තුවක් නෑ. නමුත් අපි මේ මෙහොතේ බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් මහජනතාව එක්රැස් වන තැන්වලට එක්රොක්වීමෙන් වළකින්න. හැකි තරම් නිවසට වී සිටින්න පුළුවන්කමක් තියෙනවා නම්.

සති අන්තයේ වුනත් රැකි රක්ෂාවලට යන අයට අමතරව, හැකිතාක් නිවසට වී සිටින්න දීර්ඝ සති අන්තයේ. අපි දන්වා මේ අවස්ථාවේ විවිධ කණ්ඩායම් සංවිධානය කරලා තියෙනවා උත්සව පවත්වන්න අලුත් අවුරුදු සමරන්න, චාරිකා යන්න, මේ අවස්ථාවේ දී රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සංවිධානය කරලා තියෙන දේවල් කිරීමෙන් වළකින්න. අපි හැමදාම කිව්වා මුඛ ආවරණයක් පළඳින්න කියලා. බොහෝ අවස්ථා වලදී අපි දකිනවා මුඛ ආවරණය පහතට දාගෙන දෙන්නෙක් අතර සංවාදයේ නිරත වෙනවා. දුරස්ථභාවයන් සබැඳිව අපි මේ කථාකරන දෙවල් ඒ තත්ත්වයන් පවත්වාගෙන යා යුතුම වෙනවා.

සති අන්තයේ පෝය නිවාඩුව එනවා වැඩිපුර මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී ඔබ කොවිඩ් ආසාදිතයෙක්වීමෙන් වළකින්න. නොදන්නා කමින් හෝ තමන්ට කොවිඩ් ආසාදනය වී ඇත්නම් වෙනත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය නොකිරීමට වගබලා ගන්න කියලා තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඊයේ දිනයෙත් කුළියාපිටිය වසම හුදකලාවට ලක්කරනු ලැබුවා. අද උදෑසන තවත් ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදකලාවට ලක්කරනු ලැබුවා.

ඕනෑම ස්ථානයක යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක ආසාදිතයින් වාර්තා වන තත්ත්වයක් වාර්තා වුනොත් අනිවාර්යයෙන්ම එම ස්ථානය අපි හුදකලා කිරීමට කටයුතු කරනවා. ජනතාව අපෙන් අහනවා නගර අතර දිස්ත්‍රික්ක අතර යන එක තහනම් කරනවා ද කියලා. මේවා නීති පනවලා කරන්න අවශ්‍යතාවයක් නෑ මේ මොහොතේ දී. රටේ ජනතාව බුද්ධිමත්. ජනතාව දන්නවා ඉන්දියාවේ දේවල් දකිනවා ඇති මේ මොහොතේ මොනවාද වෙන්නේ කියලා. රටේ ජනතාගේ සහයෙන් තමා මේ කොවිඩ් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන අවබෝධයෙන් යුතුව දිස්ත්‍රික්ක අතර අත්‍යාවශ්‍ය නොවේ නම් නොයා ඉන්න ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා”.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *