LATEST NEWS
Search

රුසියාවට තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

43

තමන්ටම වෙන් වූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා වැඩ ආරම්භ කළ බව රුසියානු අභ්‍යවකාශ කාර්යාංශය නිවේදනය කළේය. මෙම නිවේදනය නිකුත් වූයේ රුසියාව සහ බටහිර රටවල් කීපයක් අතර දේශපාලනික මතභේද කැකෑරෙමින් තිබියදී ය.

දැනට පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දියත් කෙරුණේ 1998දී ය. රුසියාව සහ එක්සත් ජනපදය මුලික වී එය ස්ථාපනය කළේ තවත් රටවල් කීපයක සහයෝගය ඇතිව ය. එය ජාත්‍යන්තර සහයෝගීතාව ඉස්මතු කෙරෙන සන්ධිස්ථානයක් ලෙස කාගේත් පැසසුමට ලක් විය.

නමුත් 2025 දී තමන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වන බවට රුසියාව ඇඟවීමක් කර තිබුණි.

එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැකිල්ල දැන් පැරණි ය.

රුසියාවේ රොස්කොස්මෝස් අභ්‍යවකාශ කාර්යාංශය (Roscosmos) කියා සිටියේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අත්සන් කර ඇති ගිවිසුම 2024 වසරේදී නිමාවට පත්වන බවය.

දැනට පවත්වාගෙන යන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය තීරණය කෙරෙන්නේ එහි පවතින තාක්ෂණික මොඩියුලයන් ගේ තත්ත්වය සහ රුසියාව තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්‍ෂගත කිරීම සඳහා දියත් කරන සැලසුම් මතය.

“සාධාරණ දැනුම් දීමක්”

ගගනගාමීන්ගේ ජීවිත අවදානමේ හෙළන්න අපට බැහැ. අද මේ ගත් තීරණයට හේතුව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැකිල්ල සහ එහි ලෝහ පැරණි වෙමින් පැවතීම. එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාකවල පටන් මහා විපත්තියක් දක්වා විය හැකි සිදුවීමකට හේතු විය හැකියි. එවැන්නක් සිදුවීමට අප ඉඩ නොහැරිය යුතුයි.” රුසියාවේ උප අගමැති යූරි බොරිසොෆ් පැවසූ බව එරට රාජ්‍ය රුපවාහිනිය වාර්තා කළේය.

“ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත්ව යාම පිළිබඳව සාධාරණ කාලසීමාවක් ඇතුළත” තම ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත රුසියාව විසින් දැනුම් දෙනු ලබනු ඇති බව ද ඔහු පැවසීය.

රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මූලික මොඩියුලයේ වැඩ ආරම්භ කර ඇති බව පවසමින්, Roscosmos කාර්යාංශයේ ප්‍රධානියා වන දිමිත්‍රි රෝගොසින් වීඩියෝ පටයක් ටෙලිග්‍රෑම් සමාජ පණිවිඩ ජාලයට එක්කර තිබුණි. රුසියාව තම තීරණය නිවේදනය කිරීමටත් පෙර සිටම එහි වැඩ අරඹා ඇති බවක් එමගින් පෙනෙන්නට තිබේ.

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට ඉතිහාසගත වූයේ රුසියානු ජාතික ගගනගාමී යූරි ගගාරින් ය. එහි 60වන සංවත්සරයට සමගාමීව රුසියාව පසුගිය දා, අජටාකාශය තරණය කිරීමේ සිය ප්‍රෞඩ ඉතිහාසය හරසරින් සැමරුවේය.

අභ්‍යවකාශයට ගගනගාමීන් රැගෙන යාමේ ඒකාධිකාරිය වසර ගණනාවක් තිස්සේ පැවතුනේ රුසියාව සතුව ය. නමුත් පසුගිය වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් රැගෙන යාම සඳහා නාසා ආයතනය භාවිත කළේ ඊලෝන් මස්ක් ගේ (Elon Musk) SpaceX නමැති අභ්‍යවකාශ කැප්සියුලය යි.

මතභේද


එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කීපයක් රුසියාව සමඟ මෑතකදී යළිත් මතභේද ඇතිකරගෙන තිබුණි.

රුසියාවේ සිටින එක්සත් ජනපද තානාපති ජෝන් සලිවන් උපදෙස් ලබාගැනීම සඳහා මේ සතියේ දී ඇමරිකාව බලා යාමට නියමිතය. ඔහු තාවකාලිකව රුසියාවෙන් පිටවීම සුදුසු බවට මොස්කව් පරිපාලනය “නිර්දේශ කර” තිබුණි.

ඩොලර් බිලියන 5ක්


රුසියාව සහ යුක්රේනය අතර නැගෙනහිර දේශසීමාව අසල රුසියානු හමුදා බල ඇණි ස්ථානගත කිරීමට රුසියාව පසුගියදා කටයුතු කළේය. එමෙන්ම ජනාධිපති පූටින් ගේ ප්‍රධාන විරුද්ධවාදියා වන ඇලෙක්සි නවාල්නි ට රුසියානු පාලනය සලකන ආකාරය හේතුවෙන් ද රාජ්‍යතාන්ත්‍රික මතභේද උණුසුම් වී තිබේ.

ඉහත කී රුසියානු අභ්‍යවකාශ මොඩියුලය එකලස් කරනු ලබන්නේ Energia සමාගම විසිනි. ඒ සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 5ක් වැයවනු ඇති බව Interfax පුවත් සේවය වාර්තා කර තිබේ.

රුසියාවේ උප අගමැති යූරි බොරිසොෆ් රාජ්‍ය රුපවාහිනියට පවසා ඇත්තේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වඩා ඉහළ මානයකින් කක්‍ෂගත කෙරෙන හෙයින් උත්තර සහ දක්ෂිණ ධ‍්‍රැවීය කලාපයන් හොඳින් නිරීක්ෂණය කළ හැකි වනු ඇති බවය. උත්තරධ‍්‍රැවයේ අයිස් කඳු දියවෙමින් පවතින හෙයින් ඒ සඳහා උතුරු සාගර පථය සංවර්ධනය කිරීමට රුසියාව අපේක්ෂා කරයි.

අලුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය රුසියාව විසින් තනිවම ඉදිකරනු ලබනු ඇති බව උප අගමැතිවරයා පැවසීය. නමුත් හවුල්කරුවන් ලෙස වෙනත් රටවලට සහභාගිවීමේ හැකියාවක් පවතින බව ඔහු ඇඟවීය. “අපි අනිවාර්යයෙන් ම හවුල්කරුවන් සම්බන්ධ කර ගන්නවා. නමුත් එහි කළමනාකරණය සිදු කරනු ලබන්නේ අප විසින්මයි.” උප අගමැතිවරයා Rossiya 1 TV ඔස්සේ පැවසීය.

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ ද රුසියාව ගිවිසුමක් අත්සන් කළ බව ඔහු පසුගිය මාසයේ දී පැවසීය. ඒ, සඳ පිළිබඳ විමර්ශන මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහාය.

එය සඳ මතුපිට හෝ අභ්‍යවකාශයේ හෝ එම ස්ථාන දෙකෙහිම ස්ථාපනය කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *