LATEST NEWS
Search

නිවී ගිය අභීත යතිවර හඬ – හේන්පිටගෙදර ඥාණසීහ නාහිමි

28

”රට කන එවුන් වනසා රටදැය රැකුම
තමයි අපේ අද දවසේ මහණකම”


කුංකුනාවේ , වාරියපොළ සුමංගල , කුඩහපොළ වැනි චීවරයට අරුතක් ගෙනදුන් යතිවරයන් විසින් එවන් පාඨ උස් හඬින් ජනතාවගේ දෙසවන තුලට කාන්දු කළේ රට දැය හොර තක්කඩියන්ගෙන් මුදවාගෙන රටට විමුක්තිය උදා කිරීමටය. එවන් ශ්‍රේෂ්ඨ සඟ පරපුර අද දවසේ රජවරුන්ගේ අමුඩකෙටි ශෝදා පවිත්‍ර කරන වොෂින් මැෂින් බවට පත්වූවද මෙසිරිලක රටදැය වෙනුවෙන් ජිවිතය වුවද ඕනෑම මොහොතක මුදා හැරීමට සූදානම් වූ භික්ෂු පරපුරක් අප දුටුවේ 1989 එපිට යුගයේය. මේ එවන් චීවරයේ ගරුත්වය රැකි උතුම් යතිවරයන්වහන්සේ තමකි.

හේන්පිටගෙදර ඤාණසීහ මහා  නාහිමි 

බරැති තිරිවානා ගල් යට ගොස් ගොමරිටි දිය මතුයෙහි පාවීම අරුමයක් නොව සාමාන්‍ය දෙයකි. මෙරට භික්ෂු පරපුර දෙස බැලීමේදී නායකකාරකාදීන් අතරින් අපට හමුවී ඇත්තේ ගොමරිටිය. මෙරට පාලකයින්ට පන්දම් අල්ලන ඔවුන්ට මිනිමුතු මෙන් වටිනාකම් ගෙන දෙන කසා වතින් සැරසුනු පුද්ගලයින් අතරින් රටට ජනතාවට වග කියන අයෙකු අපට බොහෝ කලකින් හමුවී නැත.


මේ රටේ ප්‍රගතිශීලී භික්ෂු පරපුර පිළිබඳව අපට අකුරු කරන්නට ඉතිරිව ඇත්තේ අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙනි. හේන්පිටගෙදර ඤාණසීහ , මාදුළුවාවේ සෝභිත, වල්පොල රාහුල උඩකැන්දවල සරණංකර , නාරවිල ධම්මරතන , 1989 දී අපට අහිමි වුණ කෑගල්ලේ “ලෙනින්”හාමුදුරුවෝ ඒ අතරින් සදාකාලික මතකයන් ජනතා සිත් සතන් හී මුද්‍රා තැබූ එඩිතර යතිවරයන්ය.

කුඩාපොල පරපුර නියෝජනය කල මෙම දේශමාමක භික්ෂූන් කිසි දිනෙක පාලකයින්ගේ ලේ වැකුනු වේට්ටි සුද්ද පවිත්‍ර කිරීමට පංසල හෝ පැවිදිකම පාවා නුදුන්නේය. ඒ වෙනුවට ජනතා සුව පිනිස කළ සටන් හා සෘජු අදහස් ඉදිරිපත් කිරීම තම උත්තුංග පැවිදි බව යැයි සනාත කළේය.

රුවන්පුරයේ කීර්තිමත් පඬිවරයෙකු වූ හේන්පිටගෙදර ඤාණසීහ නායක හිමියන් එවකට එජාප දුර්දාන්ත පාලනයට එරෙහිව හඬ අවදිකළ නිර්භය භික්ෂුවකි. එම වරදට 1968 දී මැගසින් බන්ධනාගාර ගත කල අතර එම සමයේදී කවි 1120 කින් යුත් මහ පැරකුම් සිරිත නමින් දේශමාමක සිත් සතන් අවදිකරන ග්‍රන්ථයක් පවා සම්පාදනය කළේය.

හිමියන්ගේ සුරතින් තවත් බොහෝ පොත පත මතු පරපුර වෙත තිළිණ විය. පාලකයින්ට අවනත නොවීමේ වරදට විටෙන් විට හිරබත උරුම වූ මෙම නායක හිමිපානන් වෙතින් වර්ථමානයේ හොරුන් වෙනුවෙන් පාත්තර උස්සන බොහෝ පිරිසකට ගත හැකි බොහෝ අත්දැකීම් ඉතිරිව ඇත.

මේ ඡායාරෑපයේ දිස්වන්නේ 1968 දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයට මුල් වූවායැයි අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *