LATEST NEWS
Search

විවාහ වුණා කියලා කවදාවත් මට වැඩ නම් අඩු වුණේ නැහැ – ධනංජි

32

වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ධනංජි තාරුකා නිරන්තරයෙන්ම කලා ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවලද ටෙලි නාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය පසුගියදා පැවැති ‘සුමති’ ටෙලි සම්මාන උළලේදී සම්මානයකටද හිමිකම් කීවාය.


ටෙලි නාට්‍ය කිහිපයකම අපි ඔබව මේ දිනවල දකිනවා?

ඔව්, ‘ඉලන්දාරියා’ හා ‘හොඳ වැඩේ’ කියන ටෙලි නාට්‍යවලින් මාව මේ දිනවල දකින්න පුළුවන්. ‘ඉලන්දාරියා’ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ‘සිත්මා’ කියන චරිතය. ‘හොඳ වැඩේ’ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ‘නදී’ කියන චරිතය. ‘නදී’ කියනවට වඩා අද වෙනකොට බොහෝ දෙනෙක් මට ප්‍රතිචාර දකවන්නේ ‘පැපරාසි නදී’ කියන නමින්.


ඔබගේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය කිහිපයකුත් ඉදිරියට එන්න තියෙනවා නේද?


‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටයෙන් පස්සෙ මම චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණ. මම හිතන්නේ නුදුරේම ‘නිහඬ සෙවනැලි’ කියන චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි. මොකද, මේ ටෙලි නාට්‍යය ප්‍රදර්ශනය වෙන්න දින නියම වෙලා තිබුණත් ‘කෝවිඩ්’ වසංගත තත්ත්වයත් සමග එය කල් ගියා. ඊට අමතරව ‘සනී බනි හනී’ කියලා කොමඩි විදිහට නිර්මාණය වුණ තවත් චිත්‍රපටයකටත් මම සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් ‘21’, ‘රගුන්ගිර’ හා ‘සිප්පිකටු’ ඉදිරියට විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.


මෑතකදී හමුවුණ සම්මානය ගැනත් කියමු?


‘සුමති’ ටෙලි සම්මාන උළලේදී ‘සුසුමක ඉම’ කියන ටෙලි නාට්‍යයේ ‘මාලිකා’ කියන චරිතයට මට ‘කුසලතා’ සම්මානයක් ලැබුණා. ප්‍රධාන ටෙලි සම්මාන උළෙලක රංගනය වෙනුවෙන් මට ලැබුණ පළමු සම්මානය මේක. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ‘සුසුමක ඉම’ ටෙලි නාට්‍යයට මා සම්බන්ධ කරගත් එහි නිෂ්පාදිකා අයෝෂා අබේගුණරත්නට. ඇය තමයි මට ගොඩක් උදව් කළේ. ඊට අමතරව එම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ මහේන්ද්‍ර කුලසිංහ හා තිර රචනා කළ ලලිත් කුලතුංග දෙදෙනාවත් විශේෂයෙන් මේ මොහොතේදී මතක් කරන්න ඕන.


‘සුසුමක ඉම’ ටෙලි නාට්‍යයේ ඔබට ලැබුණ චරිතය මතකද?


ඔව්, වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වෙන දඟකාර තරුණියක්. ඇය ප්‍රෝඪාවෙන් ජීවත් වෙන තරුණයෙකු අතින් අමාරුවේ වැටෙනවා. අවසානයේ ගැබිනියක් බවට පත් වෙන ඇයව කාරුණික තරුණයෙක් භාරගන්නවා. විශේෂත්වය වෙන්නේ ඇයව භාරගන්න තරුණයා ඇයට ඊට කලින් ආදරය ප්‍රකාශ කරලා ප්‍රතික්ෂේප වුණ කෙනෙක්. මේ ටෙලි නාට්‍යයේ මගේ අම්මට රඟපෑවේ නිල්මිණි කෝට්ටේගොඩ. මගේ අයියට රඟපෑවේ දැනට අනතුරකට ලක්වෙලා සුව වෙමින් සිටින චාමර අයියා. තව නිරුක්ෂාන් ඒකනායක හා සුදර්ශන බණ්ඩාර මගේ පෙම්වතුන් ලෙස රඟපෑවා. ‘මාලිකා’ කියන චරිතයට හොඳ සාධාරණයක් කරන්න මේ හැම කෙනෙක්ම වගේ මට ගොඩක් උදව් කළා.


ධනංජිට මීට කලින් සම්මාන ලැබිලා නැද්ද?


තියෙනවා. වේදිකා රංගනයේදී මට සම්මාන ලැබිලා තියෙනවා. පාසල් කාලේදී තමයි ගොඩක්ම සම්මාන ලැබිලා තියෙන්නේ. පාසල් වේදිකාව කියන්නේ මාව රංගන ශිල්පිනියක් කරන්න මුල්ම අඩිතාලම සැකසුන තැන. මට පාසල් වේදිකාවේදී ගොඩක් ඇගයීම් ලැබිලා තියෙනවා. නමුත්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මගේ රංගනයට පළමු වතාවට ඇගයීමක් ලැබුණේ පසුගිය ‘සුමති’ ටෙලි සම්මාන උළලේදී.


සම්මානයක් ලැබෙන්න තරම් චරිතයකට මෑතකදී ඔබ දායක වුණේ නැද්ද?


ගොඩක් වෙලාවට මාව යොදා ගන්නේ කෙළිලොල් දඟකාර චරිතවලට. ඒ වගේ චරිතයකින් සම්මානයකට යන්න අමාරුයි. නමුත්, අහම්බෙන් මට හොඳ ටෙලි නාට්‍ය චරිත කිහිපයක් මගේ රංගන දිවියේදී ලැබුණා. ඒ අතරින් එකක් තමයි ඉදිරියට විකාශය වෙන්න තියෙන ‘රගුන්ගිර’ කියන්නේ. එහි මා ‘පංචාලි’ කියන චරිතය නිරූපණය කරනවා. ‘පංචාලි’ කියන්නේ අති දක්ෂ සටන් ශූරියක්. ඒ වගේම ඇය අතීතයේ සිටි බිසවුන් වහන්සේ කෙනෙකුගේ මතු ආත්මයක්ද වෙනවා. ඇත්තටම ඒ චරිතය තුළ මම මගේ රංගන හැකියාවන් උපරිමයෙන්ම ඉදිරිපත් කළා කියලා මට හිතෙනවා. නමුත්, සම්මානයක් සඳහා එය ප්‍රමාණවත් වෙයිද කියලා දන්නෙ නැහැ ඉතින්.


විවාහයෙන් පස්සේ රංගන ශිල්පිනියන්ට ගොඩක් වෙලාවට වැඩ ලැබෙනවා අඩුයි නේද?. ධනංජිටත් ඒ ගැටලුව තියෙනවාද?

නැහැ. විවාහ වුණාට පස්සේ තමයි මම ගොඩක්ම වැඩ කළේ. සමහර අවස්ථාවලදි මට ලැබුණ වැඩ ගොඩක් මම ප්‍රතික්ෂේප කළා. මොකද, විවාහයත් එක්ක ගොඩක් වගකීම් වැඩියි. රංගනයට වඩා මූලිකත්වය දෙන්න ඕන මගේ පෞද්ගලික ජීවිතේ පැත්තට. ඒ වගේම මගේ සැමියා දේවනක වීරනායක සමග මම ව්‍යපාර කිහිපයක් පසුගිය කාලේ ආරම්භ කළා. ඒ වැඩ නිසා ගොඩක් වැඩ භාරගත්තෙ නැහැ. කොහොම වුණත් අදටත් මට රඟපාන්න බොහෝ කලා නිර්මාණ ලැබෙනවා.


කතාබහ – බුද්ධික සේනාධීර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *