LATEST NEWS
Search

බිලියන ගානක් අතින් පාඩු – ඉන්දීය සමාගමක් පෝසත් කරන්න හදන ව්‍යාපෘතියක්..!

31

මත්පැන් නිෂ්පාදන මත ඇලවීමට යෝජිත ස්ටිකරයට අදාළ ව්‍යාපෘතිය නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන ගණනක පාඩුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වේ. 2016 වසරේදී අයවැය යෝජනාවක් ලෙස මුදල් අමාත්‍යංශය හා සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙරට මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත ස්ටිකරයක් හදුන්වා දීමට කටයුතු කරන ලදී.

මෙම ආරක්ෂිත ස්ටිකරය හඳුන්වාදීම මගින් මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ නීති විරෝධී මත්පැන් සමාජගත වීම වැලැක්වීම සහ රජයට අහිමිවන බදු ආදායම් අයකර ගැනීම වන අතර මෙරට භාවිතයට ගැනෙන ඒවා අතරින් 40% ක් නීතී විරෝධී බවයි වාර්තා වන්නේ. එම හේතුව නිසා වාර්ෂිකව රු. බිලියන 40ත් 80ත් අතර මුදලක් රජයට අහිමි වේ.

රු. බිලියන 120 ක් පමණ වන බදු ගෙවීමක් සිදු කරන්නේ නීත්‍යානූකූල ම ත්පැ න් නිෂ්පාදකයින් වන 60% පමණ පිරිසකි.

මෙම ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරය සලකා බැලූ තාක්ෂණ කමිටුවේ නිර්දේශය වූයේ ‘ MSP ‘ නම් වූ ඉන්දීය සමාගමට අදාළ ව්‍යාපෘතිය ලබා දීම සුදුසු බවයි. එවකට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා මෙහි තාක්ෂණික කමිටුවේ සභාපතිත්වය දරන ලදි.

නමුත් මෙම ටෙන්ඩරය 2017 පෙබරවාරි 28 දින නැවත කැඳවීමට පියවර ගැනුන අතර එයට හේතුව වූයේ ටෙන්ඩර් පටිපාටියේ සිදුවූ අක්‍රමිතා පිළිබඳ, ලංසු තැබූ අනිකුත් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධතාවයන්‍ ය.

MSP සමාගම පළමුවර ඉදිරිපත් කල ලංසුව ස්ටිකර් 1000 කට ඩොලර් 3.19ක් වුවත් දෙවෙනි වර එය ස්ටිකර් 1000කට ඩොලර් 5.99 ක් ලෙස ‌ඩොලර් 2.80 කින් ඉහල නංවා තිබුනි. නමුත් දෙවෙනි අවස්ථාවේදී ස්ටිකර් 1000කට ඩොලර් 4.57ක ලංසුවක් තවත් සමාගමක් විසින් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

එහෙත් තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත දෙවෙනි ටෙන්ඩර් කැදවීමේදී ද අවස්ථාව හිමිවූයේ පෙර කී MSP නැමති ඉන්දියානු සමාගමටය.

රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇතුලු දේශීය සමාගම් ඉවතට දමමින් ඉහල ලංසුවකට විදේශිය සමාගමකට අදාල ව්‍යාපෘතිය ලබා දීම පිළිබඳව බොහෝ මත පලවන්නට විය. අදාළ ටෙන්ඩරය MSP සමාගමට පිරිනැමීමෙන් අනතුරුව 2018.09.21 දින ගිවිසුම්ගතව ව්‍යාපෘතිය දියත් කිරීම ආරම්භ කරන ලදි. එහි පලමු අදියර 2019.07.20 දින ක්‍රියාත්මක වූ අතර එතැන් සිට ආනයනික විදේශ මත්පැන් මත ස්ටිකර් ඇලවීම ආරම්භ කරන ලදි

එම නිෂ්පාදන සමාගම් ස්ටිකර් 1ක් සඳහා රුපියල් 5ක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු යැයි මිල නියමව තිබුනද, නිෂ්පාදන සමාගම් කල ප්‍රශ්න කිරීම් හමුවේ ස්ටිකර් එකක් සඳහා රුපියල් 2ක මුදලක් අය කිරීමට තීරණය කර තිබේ. මෙම මිල තීරණය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද යන්න සුරාබදු දෙපාර්තමේන්තුව පැහැදිලි කල යුතුව ඇත. (MSP සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ස්ටිකර් ඒකක් ලබා දෙන්නේ දළ වශයෙන් රු.1.20කටයි.)

2019.08.20 දින සිට දේශීයව නිෂ්පාදිත මත්පැන් මත ස්ටිකර් ඇලවීම ආරම්භ කල යුතු වූවත් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටළු රැසක් මත අවස්ථා කිහිපයකදීම එම තීරණය කල් දැමීමෙන් පසු 2021.06.30 දින සිට දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහාද ස්ටිකර් ඇලවීම ක්‍රියාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව වාර්තා වේ.

නමුත් දේශීයව නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන සමාගම් පෙන්වා දෙන ප්‍රමුඛතම ගැටළුව වන්නේ මත්පැන් බෝතල්ගත කිරීමේ යන්ත්‍රවල නිෂ්පාදන වේගයට සරිලන වේගයකින් ස්ටිකර් ඇලවීමේ යන්ත්‍ර සොයා ගැනීමේ නොහැකියාවයි.

ඒ අනුව බලන කල ප්‍රායෝගික තත්ත්ව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල නොහැකි බව පැහැදිලිව පෙනී ගියත්, තාක්ෂණය, යටිතලපහසුකම් හා නිසි ශක්‍යතා අධ්‍යයනයක් පවා සිදු නොකර ඉන්දියානු සමාගම සමග ගිවිසුම්ගත වීමෙන් නව අර්බුද රැසක් නිර්මාණය වී තිබේ.

එහෙත් ගිවිසුම්ගත කොන්දේසි අනුව සු රා බදු දෙපාර්තමේන්තුව මාසිකව මිලියන 32 ක අවම ස්ටිකර් ප්‍රමාණයක් එම සමාගමෙන් මිලදී ගත යුතුව තිබේ. දේශීය ම ත්පැ න් මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි වුවහොත් ස්ටිකර් 1000ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 5.99 වටිනාකමකට සරිලන ඉතිරි මුදල සු රා බදු දෙපාර්තමේන්තුව විසින් ඉන්දියානු MSP සමාගමට ගෙවිය යුතු වේ.

එකග වී ඇති කරුණු වලට අදාලව සු රා බදු දෙපාර්තමේන්තුවට සිදුවන අලාභය දරා ගැනීමට කෙසේ හෝ ඉන්දියානු MSP සමාගමටම ව්‍යාපෘතිය ලබා දීමට කටයුතු යොදන සේයාවක් ද මේ වන විට පෙනෙන්නට තිබේ.

මෙම ගැටළුවට විකල්පයක් ලෙස මුද්‍රිත ස්ටිකර් වෙනුවට ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයක් (Direct Marking System) හදුන්වා දීමට යෝජනා වී ඇත. එම ක්‍රමවේදයද ඉන්දියානු MSP සමාගම හරහාම සිදු කරගැනීම සු රා බදු දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව වේ.

ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා DNA අඩංගු විශේෂ තීන්ත වර්ගයක් භාවිත කරන බව ඉන්දියානු MSP සමාගම දන්වා ඇති අතර, එවැනි ක්‍රමවේදයක් ගැන සඳහන් කර පසුව සාමාන්‍ය තීන්ත භාවිත කරමින්ම මුද්‍රණ කටයුතු සිදුකිරීමද ඔවුන්ට අපහසු නොවන්නේ ඉන්දියානු MSP සමාගම පවසන දේ විශ්වාස කරනු විනා එම ක්‍රමවේදයන් හෝ අමුද්‍රව්‍යයන් සම්බන්ධයෙන් සොයා බැලීමේ කිසිදු යාන්ත්‍රණයක් සු රා බදු දෙපාර්තමේන්තුව මෙතෙක් අනුගමනය කර නොමැති බැවිනි

ඉන්දියානු MSP සමාගම දක්වා ඇති ආකාරයේ ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද මගින් මුද්‍රණය කරනු ලබන පිටපතක් මුද්‍රණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මිල දර්ශනයන් අනුව රුපියල් 0.20(ශත 20)කට පමණ සිදු කරගත හැකි වූවත් ඒ් සඳහා රුපියල් 2ක මිලක් නියම කිරීමේ පදනම කුමක්ද යන්න පැහැදිලි කළ යුතුව ඇත.

මුද්‍රිත ස්ටිකරයක් නිෂ්පාදන මත යෙදීමට අවශ්‍ය පිරිවිතරයන් දක්වමින් කැඳවන ලද ටෙන්ඩරයක් ඊට බොහෝ වෙනස්කම් ඇති ඩිජිටල් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය තුල ඇති හැකියාව කුමක්ද?

ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ක්‍රමවේදය පිළිබඳ MSP සමාගමට ඇති අත්දැකීම් මොනවාද? ඔවුන් ඊට සුදුසුකම් සපුරා ඇත්දැයි විමසා බැලුවේ කව්ද?

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් මතු ව ඇත.

දැනට ජාත්‍යන්තරව පිලිගත් ක්‍රමවේදයන් මොනවාද?

අප රටට සුදුසු ක්‍රමවේදය කුමක්ද?

සිදු කිරීමට අපේක්ෂිත ක්‍රමවේදය තෝරාගත් නිර්ණායකයන් මොනවාද?

ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය හා ස්ටිකර් ක්‍රමවේදය එකවර ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටියි.

ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන්නේ කව්ද? කුමන ආයතනයද?

ඩිජිටල් තාක්ෂනය මගින් ආරක්ෂිත මුද්‍රාවක් තැබීමේ ව්‍යාපෘතිය, ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු MSP ආයතනයටම ලබා දෙන්නට කටයුතු කලේ කුමන පදනමක් මතද?

තම මව්රට වු ඉන්දියාව ඇතුලුව දැනට ව්‍යාපෘති සිදුකර ඇති බංග්ලාදේශය, කෙන්යාව, දකුණු සූඩානය, ලයිබීරියාව, පිලිපීනය යන රටවලදී වංචාවන් සිදුකර ඇති බව තහවුරු ව අසාදූ ලේඛනගතව ඇති MSP සමාගමටම මෙම ව්‍යාපෘතිය භාර දීමට උත්සහ දරන්නේ කුමක් අරමුණු කොටගෙනද යන්න දැන් වඩාත් පැහැදිලි වී ඇත.

අයුතු ලාභ අපේක්ෂාවකින් යුතුව ටෙන්ඩර් පටිපාටිය හසුරුවමින් රිසි සේ වංචාවන් සිදු කල හැකි ඉන්දීය සමාගමකට ව්‍යාපෘතිය භාර කර වැඩ වැරදුනු තැන සු රා බදු දෙපාර්තමේන්තුව දැන් උත්සහ ගන්නේ කෙසේ හෝ තම අරමුණ සාක්ෂාත් කරගැනීමටයි.

නීතිවිරෝධී ම ත්පැ න් හේතුවෙන් රජයට වාර්ෂිකව අහිමිවන රුපියල් බිලියන 80ක් පමණ වූ බදු ආදායම අය කරගැනීමට මෙම ව්‍යාපෘතිය මගින් හැකිවේද..? ඒ් වෙනුවෙන් සිදුකරන්නා වූ පදනම් විරහිත ක්‍රියාකාරකම් මගින් තවදුරටත් සිදුවනුයේ ආදායම් අහිමි වීම මිස අන් කිසිවක් නොවේ.

උපුටා ගැනීම : මව් රට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *