LATEST NEWS
Search

මියුසික් එක්ක පැටලුණු විශ්වගේ අලුත් ලව් එක (photos)

29

මේ දවස්වල පසන් සර් අපට හමුවන්නේ ‘හදවිල අරණ’ ටෙලිනාට්‍ය තුළින්. ඔහු විශාරද සංගීත ගුරුවරයෙක්. ඔහුගේ දැනුම මතු පරපුරට ලබා දීමයි එකම අරමුණ. ඔහු යටතේ විශාරද සංගීතය හැදෑරීමට නදී පසන්ගේ කලායතනයට යනවා. ඔය අතරතුර දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ගොඩනැඟෙනවා. ඉතින් නදීගේ ආදරය මොන විදියට පසන් සර්ට ලැබේවිද කියා දැනගැනීමට පසන් ලෙසින් ජීවය දෙන ප්‍රවීණ රංගන ශිල්පී විශ්ව කොඩිකාරට ඔහුගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට කියා තිබුනා

විශ්ව මේ දවස්වල කාර්යබහුල වෙලා වගෙයි? අවුරුදු සමයත් එක්ක මම පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ. අවුරුදු දවස්වල මම නුවර ගෙදර තමයි හිටියේ. ඒ අතරතුර රූපවාහිනී අවුරුදු වැඩසටහන්වලට සම්බන්ධ වෙලා මට කළ හැකි උපරිම දායකත්වය සියලුම රූපවාහිනී නාලිකාවලට ලබාදුන්නා. පසුගියදා තමයි මම නැවැත කොළඹ ආවේ නිර්මාණ වැඩකටයුතු සඳහා.

මේ දවස්වල විශ්ව විශාරද සංගීත ගුරුවරයෙක් වෙලා වගෙයි? ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ විශාරද සංගීත ගුරුවරයෙක් ලෙසට ‘පසන්’ගේ චරිතය රඟපානවා. එයට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව නැවැත අහස් මාලිගා, ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා අවසාන කොටස් කිහිපයට.

නදීගේ ආදරය පසන් සර්ට හිමිවෙයිද? නදීගේ ආදරය පසන් සර්ට ලැබෙයි. හැබැයි මෙය කොයිවිදියට ලැබෙනවාද කියලා දැනගන්නට නම් ‘හදවිල අරණ’ සමග ඉන්න වෙනවා. මොකද කතාව දැන්ම කියලා වැඩක් නැති නිසා.

අවංක ආදරයක් තුළ කුලමල බැලීම ගැන ඔබට මොකද හිතෙන්නේ? ආදරය කරන කොට ඔය කිසිවක් අදාළ නැහැ. ආදරය කියන්නේ වෙනම රසයක්. ඒ උතුම් බැඳීමකට ජාති, ආගම්, කුලමල බේද බලන එක වැරැදියි. තවත් සමහරු ආදරය කරන්නේ මිල මුදල්, දේපොළවලටයි. එතැන ආදරයක් තියෙන බව මම විශ්වාස කරන්නේ නැහැ. ආදරය කරන කොට විවිධ ප්‍රශ්න එනවා. ඒ සියල්ලම දෙන්නා කතාබහ කරලා විසඳගන්න පුළුවන්. ජීවත් වීමට මුදල් අවශ්‍යයි. හැබැයි ඒ දේවල් ගැන පසුව හිතන්න ඕනෑ.

විශ්වගේ සැබෑ ජීවිතයෙත් ආදරය කරන කොට එවැනි ප්‍රශ්න මතු වුණාද? මම පාසල් යන කාලයේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒ ආදරයටත් විවිධ හේතුන් බලපෑවා. මගේ පළමු ආදරයේ තිබුණු අත්දැකීම් එක්ක මම අරමුණක් ගැන හිතුවා. ඔය ඉන්න කාලයේ තමයි මගේ බිරිය එරන්දිව මට ලැබුණේ. එරන්දි මගේ ජීවිතයට ළංවෙන කොට ඔය කිසිම දෙයක් බැලුවේ නැහැ. ඇය බැලුවේ මගේ අවංකකම විතරයි. අද අපි සතුටින් ජීවත් වෙනවා. ආදරය ගැන හරියට නොතේරුම් ගත්තාම තමයි ඔය විවිධ ප්‍රශ්න අපිට අහන්න, දකින්නට ලැබෙන්නේ.

ඔබ ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙලා නැවැත සම්බන්ධ වීමට හිතුවේ ඇයි? කිසිම කෙනෙක් සමග ප්‍රශ්න මතුවෙලා මම ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා නෙවෙයි. සියලුම දෙනා සමග මම සුහදව කතාබහ කරලා ඉවත් වුණේ. මොකද ඒ කාලවකවානුවෙ පිටපත රචනා වෙලා තිබුණු විදියට මම කැමැති වුණේ නැහැ. මම කිව්වා ටෙලිනාට්‍යයේ අවසාන හරියෙ මම නැවැත සම්බන්ධ වෙන්නම් කියලා. ඉතින් ‘අහස් මාලිගා’ කතාව අවසානය හොඳට ගලාගෙන යන නිසා මම නැවැත සම්බන්ධ වුණා.

තවමත් පෙම්වතාගේ චරිත කිරීමටද කැමැති? මට හැමදාම පෙම්වතාගේ චරිත රඟපාන්න බැහැ කියලා මම දන්නවා. මාව තවම පෙම්වතා චරිතයට සුදුසුයි නම් අධ්‍යක්‍ෂවරුන් ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගනීවි. ආදරණීය නව පරපුරේ තරුණ ශිල්පීන්ට අපි අවස්ථාව දිය යුතුයි ඉදිරියට මේ වෘත්තිය රැකගෙන යෑමට.

ඔබගේ නිෂ්පාදන කටයුතු කොයි වගේද? කාලයකින් නිර්මාණයක් කළේ නැහැ. ලොකු ආශාවක් තියෙනවා නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කරන්න. ඒත් මට මේ ක්‍ෂේත්‍රය ගැන ඉගෙනගන්න දේවල් තිබෙනවා. ඉදිරියේදී බලමු නිර්මාණයක් කරන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *